සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නේ ඇයි?

“නහි සීල වතං හේතු – උප්පජ්ජන්ති තථාගතා
අට්ඨක්කරා ථීනි පදා – සම්බුද්ධේන ප්‍රකාශිතා”

සිල් වතක් දීමට නොව – තථාගතයන් වහන්සේලා පහල වෙන්නේ
අකුරු අටකි පද තුනකි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දේශනාව.

මේක තමයි ඒ ගාථාවේ සරල අදහස.

මෙහි අකුරු අටයි පද තුන වෙන්නේ “අනිච්ච දුක්ඛ අනත්ථ”. (බැඳී අකුරු ලෙස ගත් විට තමයි අටක් ලැබෙන්නේ)

එතකොට මේ පද තුනේ “අනිච්ච” කියන පළමු පදය කෙතරම් වැදගත්ද කියනවානම් බුද්ධ ශාසනයේ හදවත වගේ. මේ පදයේ නිවැරදි අර්ථය යටපත් උනොත් නැතිවෙන්නේ බුද්ධ ශාසනයි, ඒ කිව්වේ මග ඵල ලාභියෝ. ඒ නිසා මේ පදයේ නිවැරදි අර්ථය තොර ගන්න කෙනෙක්ට උපකාරයක් වීමයි මේ ලිපියේ අරමුණ.

අනිච්ච ප්‍රධාන අර්ථ

අද වන විට “අනිච්ච” යන පදයට ඇති අර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

අනිච්ච - අනිත්‍ය

අනිච්ච – අනිත්‍ය

අනිත්‍ය, වෙනස් වන සුළු ස්වභාවය, ස්ථිරව නොපැවතීම, ඇතිවෙන-නැතිවෙන ස්වභාවය, “පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතිව නිරුද්ධ වීම”
මේ අර්ථ සියල්ලටම පාදක වෙලා තියෙන්නේ අදවන විට සියලු ලෝකවාසී බෞද්ධ ආගමික පිරිස අතරේ ප්‍රචලිත ත්‍රිපිටකයේ “අනිච්ච” පදයට “අනිත්‍ය” කියලා පරිවර්තනය කර තිබීම.

කැමති සේ නොපැවතීම, කැමැත්ත ඉෂ්ට නොවීම, අතෘප්තිකර ස්වභාවය, පෙලෙන ස්වභාවය, පීඩන ස්වභාවය, උදය-වය ස්වභාවය.
මේ අර්ථ වලට පාදක වෙලා තියෙන්නේ නිරුක්ති පටිසම්භිදා ඥානයෙන් “අනිච්ච” පදයට මතු වෙන අර්ථය සහ පරිවර්තනයට [word-by-word translations] ලක් නොවූ බුදු රජාණන් වහන්සේගේ සහ මහා රහතන් වහන්සේලාගේ “අනිච්ච කුමක්ද?” යන්න අර්ථ දැක්වූ තැන්. [Definitions]

අපට නිවන් දැකීමට පදය නෙමෙයි වැදගත් වෙන්නේ පදයෙන් අදහස් කල අර්ථයයි. ඒ නිසා කුමන පදය හෝ අර්ථය නිවැරදි ලෙස තෝරා ගැනීමට බලමු.

මූලික “අනිච්ච” අර්ථය

අනිච්ච පදයට විවිධ අර්ථ දැක්වීම් ත්‍රිපිටක ධර්මය තුලම හමුවෙනවා. නමුත් ඊට පෙර ඒ අර්ථ සියල්ලට පාදක වෙන මූලික සැකිල්ල අපි බලමු.

ලොව්තුරා සම්මා සම්බුදුවරෙයෙක් ලෝකයට දේශනා කරන්නේ පටිච්චසමුප්පාද ධර්මය. ධර්මය කියන්නේ ධරණ ස්වභාවය. ලෝකය ධරන්නේ පටිච්චසමුප්පාදයට අනුව. පටිච්චසමුප්පාදය සාගරය වගේ. පටිච්චසමුප්පාදය යෙදෙන තැන අනුව විවිද ආකාරය ගන්නවා. සියලුම පටිච්චසමුප්පාද චක්‍ර ශ්‍රාවක ගෝචර නැහැ. සියල්ල ගෝචර වන්නේ ලොව්තුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. නමුත් දුකෙන් නිදහස් වීමට අවශ්‍ය පටිච්චසමුප්පාදය ශ්‍රාවක ගොචරයි. ඒ ඒ මොහොතේ ඇති වන මේ පටිච්චසමුප්පාද චක්‍රය “ඉදපච්චේතා පටිච්චසමුප්පාදය” ලෙස පෙන්වා දෙනවා.

පටිච්චසමුප්පාදය සරලව

ධර්මය දකිනවා කියන්නේ පටිච්චසමුප්පාදය දකින එක. එදා සත් අවුරුදු දරුවන්, සුනීත සෝපාක ආදී ගිහියන් පවා අවබෝධ කල සරල එහෙත් අප්‍රමාණ ගැඹුරක් ඇති ඒ පටිච්චසමුප්පාදය කුමක්ද කියා බලමු.

පටිච්චසමුප්පාදය
පටිච්චසමුප්පාදය තුලින් ජාති උත්පාද වීම

පටිච්චසමුප්පාදය දකිනවා කියන්නේ මේ පද වැල මතක තබා ගැනීම හෝ කට පාඩම් කිරීම නෙවෙයි. මෙහි ක්‍රියාකාරීත්ව ප්‍රයෝගිකව එදිනෙදා ජීවිතයේදී දැකීම.

මේ ධර්ම කාරණය පැහැදිලි කරගැනීම සඳහා ඉතා වැදගත් දේශනාවක්: << පදපෙල නොදැන හිටියටත් පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වන ආකාරය දැකීම >>

පටිච්චසමුප්පාදය ඉතා සරලව දකිනවා කියන්නේ දුක උදාවෙන හැටිත් එය නිරෝධ කර ගන්න හැටිත් දැක්කා කියන එක. මේ දේ එදා සත් අවුරුදු දරුවන්ද, ලොකු ඉගෙනීමක් නොතිබුණු සුනීත, සෝපාක ආදී පුද්ගලයින් පවා දැක ගත්තා.
පටිච්චසමුප්පාදය සරලව තේරුම් ගැනීමට මේ චක්‍රයේ පද දෙකක් අනිවාර්යයෙන්ම නිවැරදිව තේරුම් කර ගන්න ඕනි.

සංකාර

“සංකර” කියන්නේ (චේතනාත්මකව) හිතන, කියන සහ කරන දේ. (Intentional Actions)
කයින් කරන ක්‍රියා -> කාය සංකාර වචනයින් කරන ක්‍රියා -> වචී සංකාර මනසින් කරන ක්‍රියා -> මනෝ සංකාර
(සත්වයාට, හිතනවා කියනවා කරනවා ඇරෙන්න වෙන මොනවද කරන්න පුළුවන්?)

සංකාර යනු සරලව ගත්තොත්, සිත-කය-වචනය ක්‍රියාත්මක කිරීම
සංකාර යනු සරලව ගත්තොත්, සිත-කය-වචනය ක්‍රියාත්මක කිරීම

ඇත්තටම ගත්තොත් සංකාර සඳහා මුළු ත්රිපිටකය පුරාවටම ඇත්තේ මීට සමාන අර්ථය සමූහයකි. නමුත් ඇතැම් ආචාර්ය වාද වල මෙය සංකත හැඳින්වීමටද යොදා ගෙන ඇත. මෙය විශාල වරදකි. සංකත යනු සංකාර ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. සරල උදාහරණයක් කිව්වොත්, ගඩොල්, ගඩොල් එකතු කරන සංකාර ක්‍රියාවලියකින් ගෙයක් කියන සංකතය බිහි වෙනවා. ගඩොල් කියන්න සංකත ටික සංකාර කරලා වෙන සංකතයක් හැදුවා. බුදු රජාණන් වහන්සේගේ සංකාර අර්ථ දැක්වීමත් මෙයමයි. “සංකත අභිසංකරණය කරන හෙයින් සංකාර වේ”. සංකත ටිකක් වෙන සංකත ටිකක් කරන්න තමයි ලෝක සත්වයා වෙහෙසෙන්නේ. සැ.යු.:- “සංස්කාර” කියලා බුද්ධ වචනයක් නැහැ. ඒක සංකාර කියන පදයට දුන්නු සංස්කෘත/වේද පරිවර්තනයක් විතරයි.

ජාති

ජාති කියන්නේ ජාතියක් කියන එක, උපතටත් ජාති කියනවා, නමුත් මෙතන පෙන්වන්නේ “ජාතිය” කියන දේ. උදා. ගුරුවර ජාතිය, පියා ජාතිය, මව ජාතිය, පෙම්වතා ජාතිය ආදී ලෙස. අපි හැමෝම උප්පතිය ලැබුවේ මනුස්ස ජාතිය ලෙස. නමුත්, එදිනෙදා ජීවිතයේ අපි එක එක ජාති බවට පත් වෙනවා නේද? කොහොමද ඒ ජාති පහල උනේ?

ජාති යන්න අර්ථ දෙකකින් යෙදෙනවා. පටිච්චසමුප්පාදය තුල යෙදෙන්නේ මේ දක්වා ඇති අර්ථයෙන්
ජාති යන්න අර්ථ දෙකකින් යෙදෙනවා. පටිච්චසමුප්පාදය තුල යෙදෙන්නේ මේ දක්වා ඇති අර්ථයෙන්

දැන් සරල උදාහරණ කීපයක් අරන් බලමු පටිච්චසමුප්පාදයක් දකින හැටි….
උදා.1
සොරෙක් අවබෝධ කර ගන්නවා “සොර කම් කිරීම” නිසා තමයි “හොරෙක්” උනේ. අම්මගේ බඩෙන් ඉපදුනේ මනුස්සයෙක් විදිහට, හැබැයි දැන් “හොරෙක්” උපදිලා. ඒ නිසයි අද හිරේ දුක් විඳින්නේ. තවද, සොරකම් නොකලා නම් සොරෙක් වෙන්නේ නැහැ. එහෙනම් හිරේ අද දුක් විඳින්නේ නැහැ නේ.
සොර ජාතිය හොඳයි => සොර කම් කිරීම => > සොරා => සොරා ලෙස දුක් විඳීම අවිද්‍යා => සංකාරා ==> ජාති => ජාතියට අදාළ දුක්.
අම්මගේ බඩෙන් හොරු ඉපදෙන්නේ (ජාත වෙන්නේ) නැහැ. හොරකම් කිරීම කියන සංකාර ක්‍රියාවලිය තමයි හොර ජාතිය බිහි කලේ. ඊට පස්සේ තමයි ඊට අදාළ දුක් කඳ උදා උනේ. දුක් උදා වීම දැක්කා. හොරකම් කිරීම හරයක් නැහැ, භයානකයි ඒ නිසා ඉන් මිදිය යුතුයි කියලා දැක්කා. අන්න දුකෙන් මිදීමක් දැක්කා.
උදා.2.
බේබද්දෙක් දකිනවා, බේබද්දෙක් ලෙස මේ හංවඩු ගැහුනේ බීමත් කම නිසා. බීමට අසා උනාට බේබදු ජාතිය දුක් සහිතයි. බොන්න බැරි දවසට ඉන්න බැහැ, පෙළෙනවා. ඊට පස්සේ බොන්න හොයාගන්න සැහෙන්න දඟලන්න ඕනි. ඊට අවශ්‍ය දේ නිකන් පහල වෙන්නේ නැහැනේ. ඔක්කොම කරලා ගොඩ නගා ගත්තට පස්සේ පොඩි වෙලාවයි ආස්වාදය, ඊට පස්සේ ඉතින් ආදීනව”.
මේ විදිහට බීමත් කම කියන සංකාර වැඩ පිළිවෙල නිසා තමයි බේබදු ජාතිය පහල උනේ. ඊට අදාළ දුක් කන්දකට පත් උනේ ඊට පස්සේ. දුකෙන් නිදහස් වෙන්න නම් ඒ සංකාර වලින් මිදෙන්න ඕනි. අන්න දුකක් උදා වෙන හැටි සහ නිරෝධ කරන ගන්න හැටි දැක්කා.
උදා 3,4,5…..
මේ වගේ ලෝකයේ යම් ජාතියක් පහල උනාද ඒ සියල්ල සංකාර ප්‍රත්යයෙන්මයි. ඒකාන්තයෙන් දුක් කඳක් උදා කරනවා. දුක් නොදෙන ජාතියක් නැහැ.
සබ්බේ සංඛාර දුක්ඛාතී යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විශුද්ධියා
දැන් ඉහත ගාථාවේ තේරුම පැහැදිලි වෙන්න ඕනි.
තවද, මේ ගාථාවට පෙර මෙහෙම කොටසකුත් තියනවා.
සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විශුද්ධියා
එතකොට සියලු සංකාර (හිතන කියන කරන දේ) අනිච්ච වෙන්නේ කොහොමද?

අනිච්ච දැකීම

අනිච්ච දැකීම
අනිච්ච දැකීම

ඉහත විස්තර කරන ලද පටිච්චසමුප්පාදය ඕනෑම ජාතියකට දාල බලලා ඒ ජාතියට අදාළ දුකෙන් නිදහස් වෙන්න භාවිතා කරන්න පුළුවන්. යම් දෙයක් හිතන, කියන හෝ කරන කොට මෙයින් උදාවෙන ජාතිය සහ ඉන් උදාවෙන්න තියන දුක දකින්න පුළුවන්. කෙලවර තියෙන දුක් කඳ දකින්න පුළුවන්. මතු විඳින්න තියන දුක දකින්න පුළුවන්. එහෙනම් මේ කරන්න යන වැඩ (හිතන කියන කරන දේ) කැමැත්ත ඉෂ්ඨ කරයිද? කෙලවර තියෙන්නේ දුක් කන්දක් නම් කැමැත්ත ඉෂ්ට කරන්නේ කොහොමද?
එහෙනම් කෙලවර සැපක් සහනයක් අමුර්තයක් ලැබේ කියන අදහසින් (අවිද්‍යාවෙන්) හිතන කියන කරන කිසිම වැඩක් (සංකාරයක්), දුක් කන්දක් උදා කරනවා මිසක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ නේද? අන්න අනිච්ච දැක්කා.
සැපක් සහනයක් බලාපොරොත්තුවෙන් හිතන කියන කරන කිසිම දෙයක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්තේ මේ පටිච්චසමුප්පාදය නිසා මයි. පටිච්චසමුප්පාදය දැක්කනම් අනිච්ච දැක්කා. අනිච්ච දැක්කා නම් පටිච්චසමුප්පාදය දැක්කා.
සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විශුද්ධියා

නිවැරදි බුද්ධ දේශනාව බව

නිවැරදි බුද්ධ දේශනා තෝරා ගැනීම සඳහා බුදු රජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ක්‍රම වේදය අපි මේ මූලික අර්ථය පරීක්ෂා කිරීමට යොදා ගනිමු.

බුද්ධ දේශනාවක් තෝරා ගන්න ක්‍රමය
බුද්ධ දේශනාවක් තෝරා ගන්න ක්‍රමය

පටිච්චසමුප්පාදයට බහා සිටී
මූලික අනිච්ච අර්ථය යනු පටිච්චසමුප්පාදයම වෙන නිසා එය එහි බහා සිටී.
විනයට සැසඳේ
අග තියන දුක් කඳ දැක්කම අදාළ වුනු අවිද්‍යා සහගත වැඩ වලින් මිදෙනවා කියන්නේ විනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ රාග විනය ද්වේශ විනය සහ මෝහ විනය වෙනවා.
සූත්‍රයට බහා සිටී

  1. අග තියනවා දුක,
  2. මුල තියනවා හේතුව,
  3. දුකෙන් මිදීම දකිනවා අග උදා නොවීම තුල,
  4. මාර්ගය දකිනවා මුල අත්හැරීම තුල.

චතුරාර්‍ය සත්‍යට බහා සිටිනවා.
මේ අනිච්ච විග්‍රහය පටිච්චසමුප්පාදයට බහා සිටී, විනයට සැසඳේ, සූත්‍රයේ බහා සිටී. ඒ නිසා මෙය බුද්ධ දේශනාවක් බව සැක හැර ප්‍රත්‍යක්ෂ කරගැනීමට පුළුවන්.

වෙනත් අනිච්ච අර්ථ

පටිච්චසමුප්පාද ධර්මයට අනුව ගොඩනැඟුණු ඉහත දක්වූ අනිච්ච යන මූලික අර්ථයට පාදක වෙමින් ගොඩනැගුනු අනු අර්ථ කීපයක් දැන් බලමු. මේ අර්ථ සියල්ල පටිච්චසමුප්පාදය තුලම පවතින අනු අර්ථ වේ.

  1. අනිස
  2. කැමැත්ත ඉෂ්ට නොවීම
  3. කැමැත්තට නොපැවතීම
  4. පෙලෙන ස්වභාවය
  5. පීඩන ස්වභාවය
  6. උත්පාද වය ස්වභාවය
  7. පහත හෙලන/විනාස වන අර්ථය

දැන් අපි මේ අර්ථ එකින් එක ගෙන බලමු.

1. අනිස

සම්බුදු දේශනාව පරිවර්තනය කිරීමේදී “අනිච්ච” පදයට “අනිත්‍ය” කියා යොදා ඇති තැන් වගේම “අනිස” කියා යෙදූ තැන්ද තිබෙනවා. මේ පරිවර්තනය පවා අවබෝධයකින් නොකල බවක් පෙනෙන තැන් තිබෙනවා. මේ පහත තිබෙන්නේ බුදු රජාණන් වහන්සේගේ අති ඝාම්භීර දේශනාවක් වන “ආදිත්තපරියාය සූත්‍රයේ” කොටසක්. මෙහි පරිවර්තනය හොඳ සිහියෙන් කියවා බලන්න.

අනිච්ච යන්න අනිස ලෙස යෙදූ එක් වැදගත් සූත්‍රයක්
අනිච්ච යන්න අනිස ලෙස යෙදූ එක් වැදගත් සූත්‍රයක්

මෙහි පරිවර්ත දෝෂ වඩාත් පහසුවෙන් බලා ගැනීමට පහත රූපය බලන්න…

පරිවර්තන දෝෂ
පරිවර්තන දෝෂ

පරිවර්තනය අනවබෝධයෙන් කල බවට ඉහත ඇත්තේ තවත් එක් හොඳ සාක්ෂියක්.

නමුත් මේ “අනිස” කියන පදය ඉහත විස්තර කල මූලික අනිච්ච අර්ථයට ඉතා හොඳින් ගැලපෙනවා. වසර ගණනාවකට පෙර ගිනිබත් කර විනාශ කරන ලද හෙළ අටුවා ග්‍රන්ථයන්ගේ තිබී ඇත්තේ මේ “අනිස” කියන පදය බවටද මතයක් තිබෙනවා.

අනිස යන්නෙහි අර්ථය අපි සරලව තෝරා ගනිමු.

මින් අදහස් වන්නේ “අනිසියි” කියන අර්ථය. යමක් පරිහරණය සඳහා නොසුදුසුයි, අනිසියි. පරිහරණය කලොත් විනාසයි. කැමැත්ත නම් ඉෂ්ඨ වෙන්නේ නැහැ කොහෙත්ම.

යමකට ජරා, මරණ උරුම නම් ඒ දේ නිසිද? අනිසිද? තමන් බැඳුනු රැඳුනු යමක් සිහියට අරගෙන සිහිකර බලන්න එය ජරා, මරණ උරුම දෙයක්ද? නැති දෙයක්ද? කියලා. ජරා මරණ උරුම දෙයක් පරිහරණය කරන්න වෙන්නේ කැඩෙයිද? බිඳෙයිද? එහෙම නැත්නම් කවුරු හරි කඩයිද? බිඳියිද? කියන නිරන්තර භයෙන් නෙමෙයිද? මේ භය නැති කර ගන්න ඒවා පරිස්සම් කරගන්න උත්සහ වීර්ය නිරන්තරයෙන් යෙදිය යුතුද නැද්ද? කෙතරම් උත්සහ කලත් අවසානයේ ඊට උරුම ධර්මතාවය ක්‍රියාත්මක වෙලා ජරාවට මරණයට පත්වෙනවා. යමකට බැඳුනානම් එය ඒකාන්තයෙන්ම අනිසියි!

දැන් බලන්න තමන් රැඳුන බැඳුන සියල්ලට ජරා මරණ උරුමයි නේද කියලා එහෙනම් ඒ සියල්ල නිසිද? අනිසිද? ඒකාන්තයෙන්ම සියල්ල අනිසියි! -> සියල්ල අනිච්චයි!!

උදාහරණයක් අරන් බලමු (ඉතා සරල)

ඔබ ප්‍රියතම මාදිලියේ වාහනයක් ප්‍රදර්ශනාගාරයෙන්ම ගන්නවා. දැන් මේක තියෙන්නේ ප්‍රදර්ශනාගාර තත්වයේ (showroom condition). මෙය මිලදී ගත් පළමු තත්පරයේ සිට මෙහි පරිනාමය නෙමෙයි වෙන්නේ විපරිනාමය. ඒ කිව්වේ නැග්ග ගමන් කාපට් වල කුණු ගෑවෙනවා. පාරට දාපු ගමන් දූවිලි වැදෙනවා. සියලුම කොටස් මාත්‍රයක් හෝ ගෙවෙනවා. සීරෙනවා. හැපිලා තැලෙනවා. දැන් මේක ප්‍රදර්ශනාගාර තත්වය නැති වෙන එකම තමයි උරුම. ඒ කිව්වේ ජරා ලක්ෂණයමයි උරුම. මේ ජරාවට පත් වීම කැමැත්ත ඉෂ්ඨ නොවීමක්. දැන් බලමු හොඳම හරිය…

නිකන් බලන් ඉඳලා ප්‍රදර්ශනාගාර තත්වයට මේක ඉබේ පත් වෙන්නේ නැහැ. ලෝකයේ එහෙම ස්වභාවයක් ධරන්නේ නැහැ. උත්සාහයෙන් වෙහෙසිලා වැඩ කරන්න ඕනි බැඳුනු මුල් තත්වයට ගේන්න. සෝදන්න ඕනි. service කරන්න ඕනි. හපුනොත් තැලුනොත් ඒවා හදන්න ඕනි. ඒ විතරද? ඕනි තැනක වාහනය නවත්තලා යන්න පුලුවන්ද භය නැතුව? පංචිකාවත්ත පැත්තේ පාරක නවත්තලා ගිහිල්ලා හිතේ සහනෙන් වැඩක් කරන්න පුලුවන්ද? හොරු අරන් යයිද? නැතිවෙයිද? විනාස වෙයිද? කියන නිරන්තර භයෙන් පෙලීමෙන් තමයි ඉන්න වෙන්නේ. නමුත්,

වාහනයට තියන කැමැත්ත නිසා මේ දුක් කඳම වැහෙනවා. එකකට දුක් විඳලා විඳලා නැති උනාම තවත් ඒ ජාතියේම එකක් පතනවා. මට නැහැනේ කියලා පෙළෙනවා. ඉවරයක් කර ගන්න බැහැ.

දැන් තව දෙයක්, මේ දුක් කඳ පහල වුනේ “වාහනයට ප්‍රිය ජාතිය” උදා වුන නිසා නේද කියල පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ජාතිය පිටුපස ඊට උරුම වූ දුක්කන්ද දකින්න දකින්න ඒ ප්‍රිය ජාතිය නිරෝධ වෙනවා. වාහනයෙන් ගත හැකි යම් ප්‍රයෝජනයක් තියනවා නම් ඒ දේ ගන්න පුළුවන් දුකෙන් නිදහස් වෙලා. යමකට තියන චන්දරාගය තමයි දුක උදා කරන්නේ, ඒ ද්‍රව්‍ය වස්තුව නෙමෙයි.

දැන් ඉහත උදාහරණයේ ප්‍රිය වාහනය වෙනුවට, ප්‍රිය වූ ඕනෑම ද්‍රව්‍ය වස්තුවක් දාල බලන්න. තමන්ගේ “කය” දාලා බලන්න.

2. කැමැත්ත ඉෂ්ට නොවීම

මේ අර්ථය කෙලින්ම අවිද්‍යා මූලික පටිච්චසමුප්පාදය මුල සිට අගට යනකම් දැක්කනම් ලැබෙන අවබෝධයම තමයි.

කැමැත්ත ඉෂ්ට නොවීම කියන කාරණය හරි ආකාරයට දකින්න අපහසු නිසා විවිද වැරදි අර්ථ විග්‍රහ වලට යන්න ඉඩ තියනවා. ඒ නිසා ඒ පිලිබඳ කෙටි විග්‍රහයක් අරන් බලමු.

කැමැත්ත ඉෂ්ට නොවන බව පෙනෙන්නේ ප්‍රඥාවට මිසක් වේදනාවට නෙමෙයි. කැමැත්ත ඉෂ්ට නොවන ආකාරය දැකිය යුත්තේ ඒ දේ පටිච්චසමුප්පාදය දැකීමෙන්.

මේ ධර්ම කාරණය පැහැදිලි කරගැනීම සඳහා ඉතා වැදගත් දේශනාවක්: << සියල්ල අනිච්ච කියනවා කුමක් නිසා අනිච්ච වේද? >>

අපි උදාහරණයක් අරන් බලමු.

"අයිස් ක්‍රීම් එකක් කන්න ඕනි උනා, කඩේට ගියා සල්ලි දීලා ගත්ත කෑවා!"
“අයිස් ක්‍රීම් එකක් කන්න ඕනි උනා, කඩේට ගියා සල්ලි දීලා ගත්ත කෑවා!”

කෙනෙක් කියන්න පුළුවන් සියල්ල කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කිව්වට, කැමැත්ත ඉෂ්ට වෙන අවස්ථා ඕනි තරම් තියනවානේ කියලා.

“අයිස් ක්‍රීම් එකක් කන්න ඕනි උනා, කඩේට ගියා සල්ලි දීලා ගත්ත කෑවා!” ඉතින් ඔය කැමැත්ත ඉෂ්ට උනේ!!

මේ කියන්නේ ප්‍රඥාවෙන් දැකලා නෙමෙයි, වේදනා චෛතසිකයෙන් දැකලා. මතුපිටින් දැකලා. මේ දේ පටිච්චසමුප්පාදයට දාලා බලමු ඇත්තටම කැමැත්ත ඉෂ්ට වෙනවාද කියලා.

මෙතන කැමැත්ත ආවේ “අයිස් ක්‍රීම් කන (විඳින) ජාතිය”ට. දැන් මේ ජාතිය නිකන් පහල වෙනවද? නැහැ ගොඩ නගාගන්න ඕනි.

හිතපු ගමන් අයිස් ක්‍රීම් එක කටේ මැවෙන්නේ නැහැනේ. ඒ වෙනුවෙන් සිත-කය-වචනය වෙහෙසා වැඩ කල යුතුයි. ඒ ටික සැප නැහැනේ, දුක් විඳින්න වෙනවා. මුදල් හොයන්න වෙහෙසෙන්න වෙනවා. තෑග්ගක් ලෙස ලබුනත් ඒ ඵලයට හේතු හදන්න මින් පෙර දුකක් විඳලා තියෙන්නම ඕනි. අයිස් ක්‍රීම් එක විතරක් තිබිලා වැඩක් නැහැ, විඳින්න දිව හැදිලා තියෙන්නත් ඕනි. මනුස්ස දිව, මනුස්ස කය මේ අති දුර්ලභ සුගති ලෝකයේ කය ලබන්න පෙර දුක් විඳලා හේතු හදලා තියෙන්න ඕනි. මනුස්ස කය නිකන් පහල වෙන්නේ නැහැනේ. මේ ආකාරයට ගැඹුරට ගැඹුරට විදර්ශනා කරලා බලන්න පුළුවන් ඒ “අයිස් ක්‍රීම් කන ජාතිය” පහල වෙන්න පෙර (මොහොතකට පෙර සිට) කොච්චර දුක් විඳලද ඒක පහල කරගන්නේ කියලා.

තව පැත්තකින්, මින් පෙර අයිස් ක්‍රීම් කාලා තියනවා නම්, ඔහුට ඒ ජාතිය නැවත පහල කරගන්න තුරු පෙලීමක් එනවා. ලොකු මානසික පීඩනයක්. ඇත්තට බැලුවොත් ඒ වටිනවා සාරයි කියලා ගත්ත “අයිස් ක්‍රීම් කන ජාතියේ” වියෝ දුකත් මරණ දුකත් තමයි මේ විඳින්නේ. නැවත පහල කරගන්නකන් ඒ ජාතිය මැරිලා නේ.

දැන් කොහොම හරි අයිස් ක්‍රීම් අරන් කනවා කියමුකෝ. වේදනාව සන්තතිකව එක දිගට පවතින්නේ නැහැ. දිය බුබුලක් වගේ. වේදනාව අතීතයට ගිය ගමන් නැවත දුකක් විඳ ස්පර්ෂ කර ගන්න වෙනවා. මේක නොනවත්වා කරන්න වෙනවා. මනුස්ස ලෝකේ එතරම් නොවුනත්, සත්ව ලෝකේ නම් කිසිම අහරක් හිතේ සහනෙන් කන්න බැහැ. එක්කෝ අහාරය වෙන සතෙක් උදුරා ගනීද එහෙම නැත්නම් මාව වෙන සතෙක් ගොදුරු කර ගනීද යන නිරන්තර භයින් තමයි අහාර ගන්නේ.

කෙතරම් පරිස්සමින් පරිහරණය කලත්, නැති වෙනවා නැති වෙනවා මයි. එක්කෝ කාල ඉවර වෙනවා එහෙම නැත්නම් උදුරලා ඉවර වෙනවා. එහි මරණය නියතයි.
මනුස්ස සුගතියේ පෙර පුණ්‍ය කර්මයක් ඵල දෙන අති දුර්ලභ අවස්තාවක් තමයි අපි ඉහත බැලුවේ. මේ අවස්ථාවේ පවා නොපෙනුන දුක් කෙතරම් ප්‍රමාණයක් තිබුනද? අනිත් අවස්ථා ගැන කවර කතාද?

නොපෙනුන, සැඟවුන දුක් කඳ දකින්න වැදගත් වෙන ක්‍රම වේදයක් බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ඒ තමයි සෑම ජාතියක්ම දුක් තුනකින් යුක්ත බව දැකීම.

තිස්සො දුක්ඛා
තිස්සො දුක්ඛා – ඕනෑම ජාතියක් ගොඩ නැගීමේදී, පවත්වාගෙන යාමේදී සහ අවසානයේදී දුක් විඳීම ඒකාන්තයි. දුකෙන්

දැන් මේ අනුව යතාර්ථය දැක්කනම් කොයි ජාතියක් පහල කර ගත්තත් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියන දේ ප්‍රත්‍යක්ෂව දකිනවා.

3. කැමැත්තට නොපැවතීම

නිරුක්ති පටිසම්භිදා ඥානය ශ්‍රාවක සාධාරණ ඥාන 67න් එකක්. (73ක් බුද්ධ ඥාන අතුරෙන් 6ක් පමණයි අසාධාරණ ලෙස පෙන්වන්නේ. ඒ හය සම්මා සම්බුදු වරුන්ට පමණක් පිහිටන ඥාන). නිරුක්ති පටිසම්භිදා ඥානය ධර්මය විග්‍රහ කර පෙන්වීමට අතිශය වැදගත් සිව්පිලිසිම්බියා ඥාන හතරින් එකක්ද වෙනවා. සෝවාන් ඵල ලාබීව සිටි ඛුජ්ජුත්තරා ගිහි උපාසිකාව, උපාලි ගෘහපති උපාසක තුමාට ආදීන්ටද සිව්පිලිසිඹියා ඥාන තිබුන බව ධර්මයේ සඳහන් වෙනවා. මෙකලද, මේ නිරුක්ති ඥානය යම් තාක් දුරකට මාත්‍ර වශයෙන් හෝ ඇතැම් පින්වතුනට තියෙන්න පුළුවන්. ඒ වගේම දහම් මනසිකාරයෙන් යුතුව සිටින ධමානුධම්ම පිළිවෙතෙහි සිටින පින්වතුන්ට මේ ඥානය වර්ධනය වෙනවා.

කෙසේ හෝ නිරුක්ති ඥාන මාත්‍රයක් හෝ තිබෙන පින්වතෙකුට “අනිච්ච” යන හඬ ඇසුණු ගමන් එහිම ගැබ් වුනු අර්ථය දැනෙනවා. (නිරුක්ති ඥාන මගින් අර්ථය මනසට කෙලින්ම ගෝචර වෙනවා මිසක් යම් යම් භාෂා රීති වලට අනුව පද කැඩීමක් නොවෙයි මෙතන සිද්ධ වෙන්නේ)

ඒ අනුව,

ඉච්ච -> කැමැත්ත යන අර්ථයද,
නිච්ච -> කැමැත්තට පවතී යන අර්ථයද,
අනිච්ච -> කැමැත්තට නොපවතී යන අර්ථයද,

ලැබේ.

අනිච්ච ද අනිච්ඡ ද? නිරුක්තිය ලබා ගන්නේ යෙදෙන තැන අනුව ඒ ශබ්දය ප්‍රදාන කර ගෙන. ඒ නිසා අනිච්ච, අනිච්ඡ කොයි ආකාරයට ලිවුවත් එකම අර්ථය එන්නේ. ලියන වට අකුරු ක්‍රම පස්සේ හදාගත් ලෞකික ක්‍රම වේද. (බුදු වරුන්, අරිහතුන් වහන්සේලා දේශනා පවත්වා මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යාම අනුදැන වදාරන්නේ.). කට පාඩමින් රැගෙන ආ බුද්ධ දේශනා (සහ අරිහතුන් වහන්සේලාගේ දේශනා) ලියා තැබීමේදී ඒ ඒ තැන වල අර්ථය වෙනස් යයි සිතා, විටක අනිච්ච කියාද විටක අනිච්ඡ කියාද විටක අනිස කියාද යොදා පරිවර්තනය සිද්ධ කර ඇත. ඒ භාෂා විශාරදයින්ගේ මතය අනුවයි.

ඇත්තටම ගත්තොත් සිංහලයින්ට අනිච්ච පදය හුරුයි.

  • අනිච්චානුග පේශීන්, අනිච්චානුග ස්නායු පද්දතිය ආදිය හඳුන්වන්නේ කුමන අදහසකින්ද?
  • “අනේ අනිච්චං!” කිව්වේ කුමන අදහසකින්ද?

4. පෙලෙන ස්වභාවය

අනිච්ච අර්ථ වලින් ඉතා වැදගත් අර්ථයක්. ලොව්තුරා බුදු රජාණන් වහන්සේ විසින්ම ලබා දුන් අර්ථ දැක්වීමට අදාළව ගත් අර්ථයක්. මේ අර්ථ දැක්වීම පදෙන් පදේ කරන ලද පරිවර්තන වලින් බේරිලා තියනවා, මක් නිසාද යත් මෙය අර්ථ දැක්වීමක් නිසා (a definition). ආනන්ද ස්වාමීන්වහන්සේට සබ්බ සංකාර කෙරෙහි අනිච්ච සංඥාව කුමක්ද? යන්න වෙනත් වචන පද භාවිතා කරමින් බුදු රජාණන්වහන්සේ වදාළ අර්ථ දැක්වීම.
ඒ ශ්‍රී මුඛ දේශනාව බලන්න.

අනිච්ච අර්ථ දැක්වූ උත්තම ශ්‍රී මුඛ දේශනාව
අනිච්ච අර්ථ දැක්වූ උත්තම ශ්‍රී මුඛ දේශනාව

අට්ටීයති යන්න පෙලෙන යන පදයෙන් කෙතරම් සාර්ථකව අර්ථ ගැන්වේද යන්න විවාදාත්මකයි. කෙසේ නමුත් මෙහිදී බුදු රජාණන් වහන්සේ පෙන්වන්න හදන අර්ථය තෝරා ගැනීම එතරම් අපහසු නැහැ. එය ඉහත විස්තර කරන ලද පටිච්චසමුප්පාදය තුල මනාව බහා හිටිනවා.

මෙහි අර්ථය තෝරා ගැනීමට මේ පැරණි ලෝවැඩ සඟරාවේ කවිය උපකාර වෙනවා.

අනිච්ච – පෙලීම – ලෝවැඩ සඟරාව

බල්ලෙකු මස් නොමැති ඇට කැබැල්ලක් හපන්නේ ආස්වාද ලැබීමේ බලාපොරොත්තුවෙන්, කය වෙහෙසමින් මහා දුකකින් පෙළෙමින් ඒ සතා මේ ක්‍රියාවේ යෙදෙනවා. කුස පිරීමක් වෙන්නේ නැහැ, තෘප්තිමත් වෙන්නෙත් නැහැ, නවත්තගන්නත් බැහැ, ලැබුණු සහනයකුත් නැහැ. වෙහෙසීම පමණයි.

අවට වෙනත් බල්ලන් සිටීනම් ඒ සතුන්ටත් මේක කරන්න හිතෙනවා, උනුත් හිතන්නේ “කට්ට කන” බල්ලා මහා ආස්වාදයක් ලබනවා කියලා. ඉතින් උනුත් පොරකනවා.

ලෝකයේ පංච කාමය හඹා යාමත් මෙන්න මේ වගේ “කට්ට කන” වැඩක්. ලෝක සත්වයා සිත කය වචනය වෙහෙසා කරන තරමක් කරන්නේ පංච කාමය හඹා යෑම. ඒ ඔක්කොම සංකාර (සිතින් කයින් වචනයින් කරන ක්‍රියා) සියල්ල අනිච්චයි. පෙලනවා, ලජ්ජා විය යුතයි, මල-මුත්‍රා වගේ. සබ්බ සන්කාරේසු අනිච්ච සංඥාව මෙයයි.

මේ අදහසම ලබා ගන්න පහසු වෙන තවත් උදාහරණයක්.

අනිච්ච පෙලෙන අර්ථයෙන්
අනිච්ච පෙලෙන අර්ථයෙන්

ඔබ පනිට්ටුවකට වතුර එකතු කරන්න හදනවා. බොහෝ වෙහෙස වෙනවා. නමුත් පුරවනවා පුරවනවා නවත්තගන්න බැහැ, පිරෙන්නෙත් නැහැ, වෙහෙස විතරයි.

පසුව දකිනවා මේ පනිට්ටුවේ පහල හිල් බොහොමයක් තියනවා, දාන වතුර ඔක්කොම එලියට යනවා. කවදාවත්, කෙතරම් වෙහෙසුනත් පනිට්ටුව පුරවන්න බැහැ.

මහා වෙහෙසක්, පෙලීමක් ඇති කරනවා හැර වෙනත් දෙයක් ලැබෙනවාද? මේ වෙහෙසීම (සංකාර) ගැන අදහස කුමක්ද?

අනිච්චා වත සංකාරා

අනිච්චා වත සංකාරා ගාථාවෙන් අර්ථ දක්වන්නේද මෙම ගැඹුරු විදර්ශනාත්මක අර්ථයමයි.

මල ගෙදරකට වඩින රහතන් වහන්සේ නමක් මෘත දේහය දෙස බලා සිටින විට නැගෙන අදහස කැටි කර තමයි මේ ගාථාවේ පෙන්වන්නේ. කුඩා මස් වැදැල්ලක් ලෙස ලොවට පහල වෙලා සෑම දිනකම උදේ සිට නිදියන තුරු නොකඩවා සිතින් කයින් වෙහෙසෙනවා යම් යම් දේ ගොඩ නගන්න. අන්තිමට ඒ ඔක්කොම දඟලපු දැඟලිල්ල, ගඟට කපපු ඉනි වගේ. පොළොවේ පස විතරයි වැඩි කරලා තියෙන්නේ අන්තිමට.

නොනවත්වා උපතේ සිට මරණය දක්වා සිත කය වචනය වෙහෙසා කරන ලද ක්‍රියා වලියට කියන්නේ “සංකාර වෘතය” කියලා. මෘත දේහය දැක්කම ඇස් පනා පිට පේනවා ඒ සංකාර වෘතය වැඩක් වෙලා නැහැ කියලා.

අනිච්චා වත සංකාරා
අර්ථ පටලවාගත් “අනිච්චා වත සංකාරා” ගාථාව

නොනවත්වා කරන සංකාර වෘතය (ක්‍රියාවන්) කැමැත්ත ඉෂ්ට නොකරයි, උත්පාද කර දෙන්නේ වය ධර්මයක් මයි. (වය ධර්ම යනු ජරා-මරණ සහිත, 11 ගිනි උදාකරන, විනාස කරන වැය ධම්ම (සංකත). ආර්ය විනයේ වැය කියන්නේ විපරිණාමයට නෙමෙයි. (පහත උදය-වැය විග්‍රහය බලන්න).

මේ ධර්ම කාරණය පැහැදිලි කරගැනීම සඳහා ඉතා වැදගත් දේශනාවක්: << අනිච්චා වත සංඛාරා ගාථාවේ අර්ථය >>

5. පීඩන ස්වභාවය

අනිච්ච යන්නේහි අර්ථය පෙන්වා දෙන තවත් වැදගත් තැනක් හමුවෙනවා ඛුද්දක නිකායේ “පෙටකොපදෙස” අටුවා ග්‍රන්ථයේ. මෙහි ඇත්තේ මහා කච්චායන මහ රහතන් වහන්සේගේ ධර්ම දේශනා බව සඳහන් වෙනවා. උන්වහන්සේ බුදු රජාණන් වහන්සේ කෙටියෙන් වදාල ධර්මය විස්තරාත්මකව ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති භික්ෂූන් අතරින් අග තැන්පත් බව දරා සිටින ලදී.

මහා කච්චායන මහරහතන් වහන්සේගේ අනිච්ච අර්ථ දැක්වීම
මහා කච්චායන මහරහතන් වහන්සේගේ අනිච්ච අර්ථ දැක්වීම

පීඩන ස්වභාවය, ඉහත විස්තර කරන ලද බුදු රජාණන් වහන්සේ අර්ථ දක්වපු පෙලෙන ස්වභාවයට ඉතා සමානයි.

මේ ධර්ම කාරණය පැහැදිලි කරගැනීම සඳහා ඉතා වැදගත් දේශනාවක්: << පෙටකොපදෙසෙ අනිච්ච විග්‍රහ වි ඇති අන්දම >>

6. උත්පාද-වය ස්වභාවය

අනිච්ච දැකීමට ඇති ගැඹුරුම ක්‍රමය උත්පාද වය දැකීම. නමුත් අද වන විට මෙය බොහෝ විට විග්‍ර වෙන්නේ “ඇති වීම – නැති වීම” ලෙස. නමුත් ඉතා විස්තර සහිතව ත්‍රිපිටකය තුල උදය සහ වය ලක්ෂණ විග්‍ර වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූ අතිශය ගැඹුරු වූ අර්ථයකින්.

උදයව්‍ය ඥානය
උත්පාද වය අර්ථයෙන් අනිච්ච දැකීම

මෙහිදී දැකිය යුතු වැදගත්ම දෙය තමයි අද වන විට උදයවැය ලෙස පෙන්වන්නේ ඇති වීම නැති වීම කියලා. නමුත් ත්‍රිපිටක ධර්මයට අනුව නැති වීම තියෙන්නේ උදය ලක්ෂණය යටතේ!

නැති වීම => උදය ලක්ෂණය
නැති වීම සදහටම නැති කිරීම => වැය ලක්ෂණය.

පෘතක්ජන ලෝකයාගේ වැය කියන්නේ නැති වීම. ආර්යයෝ නැති වීම කියන්නේ සදහටම නැති වීමට. ඒ කිව්වේ නිරෝධයට. ආර්ය විනයේ වැය ලක්ෂනය ගැඹුරුයි ප්‍රඥා ගොචර්යි.

උදයව්‍ය ඥාන විග්‍රහ වෙන පටිසම්භිදාමග්ගප්‍රකරණයේ පළමු කොටසේ පෙන්වන්නේ මේ සාමාන්‍ය වැය. (පරිවර්තනයද යම් දුරකට දෝෂ සහිත වේ).

උදයවය ඥානය - පළමු කොටස
උදයවය ඥානය – පළමු කොටස

මේ සූත්‍රයේම ආර්යන්ගේ උදයවය ඥානය පසුව විග්‍රහ වෙනවා. එහි රූපයේ වැය ලක්ෂණය ඉතා හොඳින් කියවා බලන්න.

උදයවය ඥානය - දෙවන කොටස
උදයවය ඥානය – දෙවන කොටස

ඉහතින් පැහැදිලි කරනුයේ, රූපයේ වැය යනු පටිච්චසමුප්පාද නිරෝධය බවයි!

ඒ නිසා සමස්ත සූත්‍රයේම අර්ථය යනු,

උත්පාද වැය ඥානය යනු => ලෝකය පටිච්චසමුප්පාදය හරහා උදාවෙන හැටිත්, පටිච්චසමුප්පාදය නිරෝධ හරහා නිරෝධ වෙන හැටිත් පිලිබඳ අවබෝධය.
ඒ ඥානය යනු => ලෝකය කියලා උදාවෙන්නේ ගිනිගොඩක් ! සහ ඒ ගිනි ගොඩ නිවාගන්නත් පුළුවන් !! යන අවබෝධය.

මෙය අනිච්ච සඳහා ඇති ඉතා පරිපූර්ණ අර්ථයකි.

උදයව්‍ය ඥානය විග්‍රහ වන නෙත්තිපකරණිය තුල මෙය වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකියි. මේ සූත්‍ර සටහන බලන්න.

උදයව්‍ය ඥානය
උදයව්‍ය ඥානය යනු අනුලෝම ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයයි

7. පහත හෙලන/විනාස වන අර්ථය

මෙම අර්ථ දැක්වීම හමු වන්නේ පටිසම්භිධාමග්ගප‍්‍රකරණය යන මූලික අටුවා ග‍්‍රන්ථයේ.

අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනාති.

පහතට හෙලන, විනාස කරන අර්ථයෙන් අනිච්චයි
පහතට හෙලන, විනාස කරන අර්ථයෙන් අනිච්චයි

ඉහත අර්ථ දැක්වීම සම්බන්දව අද වන විට ඇති විශාලම ගැටලුව තමයි “ඛය” යන්න “ක්ෂය” ලෙස පරිවර්තනය කර එය අනිත්‍ය යන්නට ගැලපෙන බව දැක්වීමයි. නමුත් “ඛය” යන්නෙහි තේරුම පහතට හෙලන, විනාස කරන යන අදහස. මේ අදහස ඉහත ඉදපච්චේතා පටිච්චසමුප්පාදය තුල මැනවින් පේනවා.

උදාහරණය 1

හොඳට හිටිය නමුත් පසුව මත් ද්‍රව්‍ය වලය ඇබ්බැහි වෙලා සිටින තරුණයෙකු දුටු විට අපේ ගම් වල අය කියනවා “කොල්ල දැන් විනාස වෙලා” කියලා. මේ කිව්වේ කොල්ලා මරණයට පත් වුනා කියලද? නැහැ. මෙතන විනාසයි කියන්නේ, පහතට වැටුනා, දූෂණය වුනා කියන අර්ථය. මෙන්න මේ අර්ථය තමයි “ඛය” කියන පදයට තියෙන්නේ. මේ අර්ථ දැක්වීම ඉහත පටිච්චසමුප්පාදය සමග ඉතා හොඳින් ගැලපෙනවා.

උදාහරණය 2

ගෙයක් අවුරුද්දට කලින් තීන්ත ගාලා පිලිරිසිදු කරන අවස්තාවක් බලමු. සියලුම බිත්ති පිරිසිදු කර අලංකාර තීන්ත ආලේප කර අනිතිම බුරුසු පාර නිම කල විගස වෙන්නේ කුමක්ද? හොඳ පැත්තට යන්න පටන් ගයිද? විනාස වෙන පැත්තට යන්න පටන් ගනියිද. මේ විදිහට ලෝකයේ අපි කැමැත්තෙන් ගොඩනගන සියලු හොඳ නරක වෙනවා මිස අනිත් පැත්තට සිද්ධවෙන ක්‍රමයක් නැහැ. උත්සාහය වීර්ය යොදා හොඳ පවත්වා ගත යුතුයි.

උදාහරණය 3

අපගේ ශරීරය ගමු. උදේට දත් මැදලා නාල පිරිසිදු වුනා කියමු. දවස ගතවෙද්දී එන්න එන්න ඒ රූපය හොඳ වෙනවාද නරක පැත්තට යනවාද? ගඳ ගහන්න ගන්නවද සුවඳ ගහන්න ගන්නවද? රූපය ඛය පැත්තට යනවා නේද? උත්සාහය වීර්ය නිරන්තරයෙන් යොදවා සෝදා පිරිසිදු කර, සුවඳ ගල්වා තබා ගන්න ඕනි නේද?

(රූපං) අනිච්චං ඛයට්ටෙන කියන්නේ මෙන්න මේ විදර්ශනාත්මක ලක්ෂණය.

 

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

 

අනිත්‍ය අර්ථ

විග්‍රහයේ සම්පූර්ණ බව උදෙසා ඉහතින් විග්‍රහ කල පරිදි අනිච්ච සඳහා පරිවර්තනයේදී යෙදු අනිත්‍ය පදය ගැන කෙටි විග්‍රහයක් ගැන අවදානය යොමු කරමු.

අනිත්‍ය
අනිත්‍ය

අනිත්‍ය පදයේ මූලාරම්භය

බුදු රජාණන් වහන්සේගේ ධර්මය දේශනා වී ඇත්තේ “මාගධී” යන භාෂාවෙන්. මෙය හැන්ගීම් භාෂාවක් වන අතර එයට ලියන ක්‍රමයක් නැහැ සත්වයාගේ මූල භාෂාව ලෙසත් මෙය හඳුන්වනවා. පාලි යනු එම භාෂාව ලිවීමට භාවිතා කරන ලද “වට අකරු ක්‍රම වේදයක්” (Script).

අනිච්ච ලියන ක්‍රම
අනිච්ච ලියන ක්‍රම

මෙන්න මේ දේ ඉතා හොඳින් පැහැදිලි කරගන්න ඕනි.

සිව්පිලිසිම්බියා පත් මහ රහතන්වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කලේ කට පාඩමින් රැගෙන යමින්. එහිදී මේ සියුම් හැන්ගීම් භාෂාවේ අක්ෂර ඝන මාත්‍ර වෙනස් නොවී පවතිනවා. නමුත් වට අකරු ක්‍රමයකට මෙය සටහන් කලාම නැවත මෙය කියවන කෙනාට අක්ෂර ඝන මාත්‍ර වෙනස් වෙන්න ඉඩකඩ ඉතා වැඩියි. දෙවනුව මේ කට පාඩමින් රැගෙන යන ධර්මය අර්ථ පෙන්වීමට බුදු රජාණන් වහන්සේ අනු දැන වදාලේ “නිරුක්ති” ක්‍රම වේදය. මෙසේ අර්ථ දැක්වීමට “නිරුක්ති පටිසම්භිධා ඥානය” අවශ්‍ය වෙනවා. මෙය සෝවාන් ඵලයත් සමඟ ලැබෙන “ශ්‍රාවක සාධාරණ” ඥාණ 67න් එකක්. සිව්පිලිසිම්බියා ඥාන හතරින් එකක්. චිත්ත ගෘහ පති, ඛුජ්ජුත්තරා උපාසිකාව ආදී සෝවාන්ඵල ලාබී උපාසක උපාසිකාවන්ට පවා මේ ඥාණ තිබුනා.

බුද්ධ වචනය සංස්කෘත කරන්න එපා කියා ඇවතක් පවා පනවා ඇත.
බුද්ධ වචනය සංස්කෘත කරන්න එපා කියා ඇවතක් පවා පනවා ඇත.

ඉහත ත්‍රිපිටක සටහන හොඳින් බලන්න.

යමෙළු සහ තෙකුල යන පුද්ගලයින් දෙදෙනා එක්තාරා යෝජනාවක් කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ තමයි බුද්ධ භාසිතය, වෛදික (සංස්කෘත) භාෂාවට පරිවර්තනය කිරීමට! බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂුන්ට නිග්‍රහ කර එසේ නොකිරීමට ඇවතක් පවා පනවනවා. එසේ කර නිරුක්ති ක්‍රම වේදයෙන් අර්ථ ගැන්වීමට අනු දැන වදාරනවා.

ලෝක සත්වයින්ගේ මහත් වූ අභාග්‍යයට, ඉහත බුද්ධ දේශනාවට විරුද්ධව කටයුතු කල පිරිස් විසින් බුද්ධ දේශනාව වෛදික භාෂාවට නගා ලියා තබනවා. “අනිත්‍ය” කියන්නේ වෛදික (සංස්කෘත) වචනයක්. අනිච්ච යන්න තිබුණු සෑම තැනකටම “අනිත්‍ය” කියන වෛදික පදය යොදා බුද්ධ දේශනාව පරිවර්තය කරනවා. (අනාත්ම යන පදයද වෛදික පදයකි)

අනිත්‍ය අනාත්ම වේදයේ එන සංකල්ප නිසා තමයි ඔවුන් මෙය කරලා තියෙන්නේ.

අනිත්‍ය - වේදයේ එන සංකල්පයකි
අනිත්‍ය – වේදයේ එන සංකල්පයකි

අනිච්ච පදය දුටු සෑම තැනම ඒ වෙනුවට “අනිත්‍ය” කියා යොදා තිබුනත් මෙය අර්ථ වශයෙන් නොගැලපෙන බොහෝ තැන් තුන් පිටකය තුල පවතිනවා. එවැනි ඇතැම් තැන් වලට “අනිස” යන පදය යොදා තිබෙනවා. ඇතැම් තැන් වල කිසි සෙත් නොගැලපෙන ලෙස අනිත්‍ය ම යොදා තිබෙනවා.

වෙනස් වෙන සුළු බව

අනිත්‍ය කියන සංස්කෘත පදය නිසා ජනප්‍රිය වුනු ප්‍රදාන අර්ථය තමයි “වෙනස් වන සුළු බව” හෝ “ස්ථිරව නොපැවතීම” කියන අදහස.

බොහෝ විට වෙනස් වන සුළු බව කියලා පෙන්වන්නේ පටිච්චසමුප්පාදයක ජාති පහල වීමෙන් පසු එන “ජරා-මරණ” කියන ලක්ෂණය.

මේ වෙනස් වෙනසුලු බව කියලා වාහනයක්, ගෙයක් වගේ ජාතියක් බැලුවත්, සිතක් වැනි සියුම් ජාතියක් බැලුවත් එකම ලක්ෂණය දකින්නේ.

ජරා-මරණ කියන ලක්ෂණ විතරක් බැලුවොත් ඉතුරු දුක් කඳ දකින්නේ නැහැ.

ඒ දුක් කඳට මූල හේතුව වුනු අවිද්‍යා සහගත ක්‍රියාවන් දකින්නෙත් නැහැ.

අනිත්‍ය - වෙනස් වීම
අනිත්‍ය – වෙනස් වීම

ඒ නිසා හේතු – ඵල හෝ පටිච්චසමුප්පාදය දකින්න මෙම වෙනස් වන ස්වභාවිය දැකීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

(වෙනස් වන බව එක් අතකට පටිච්චසමුප්පාදයක් පුරාවටම තියනවා කියන්න පුළුවන්. නමුත් ඒත් දැකිය යුත්තවූ මුල අග සහිත සමස්ත ලක්ෂණය දකින්න බැරි වෙනවා.)

විනයට නොසැසඳේ

මෙතන තියන ගැටලුව තමයි, වෙනස් වෙනකන් පරිහරණය කරනවා කියන තැනින් ප්‍රයෝගිකව මිදෙන්න බැරි වීම.

  • “වයසට ගියාම බැහැ තමයි, නමුත් එතකන් කාලා බීලා ඕනි දහ බලු වැඩක් කරන් ඉන්නවා නේ”.
  • “අරක්කු බිබී දිගටම ඉන්න බැරි උනාට, බොනකොට සැපයිනේ.”

අනිත් ගැටලුව තමයි පරිහරණය උදෙසා වෙනස් වෙන තුරු බලා සිටීම.

  • “දුකක් කරදරයක් ආවොත් – කමක් නැහැ හෙට හරියයි, නැත්නම් ඊට පස්සේ.”
  • “කෝටියයි කාර් එකයි අදුනනම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි”

අද නොලැබුණු දේ හෙට ලබාගන්න, අද දුක් වින්දට හෙට වෙනස් වෙලා සැප ලබන්න, තව මොහොතක් හෝ ඉන්න ඇත්නම් කියලා ඝෝර කටුක සසරම පතන්න පෙළඹෙනවා.

අනිත්‍ය සසරට යොමු කිරීම
අනිත්‍ය සසරට යොමු කිරීම

මේ වගේ දිගින් දිගට ඉදිරියට යන්න, සසර පතන්න, සැරිසරන්න පෙළඹෙන එක රාගය.
(රා කියන ශබ්දයෙන් නැගෙන්නේ සැරිසැරීම, රෝද කිරීම වගේ අදහසක්, යන්නෙන් අග්‍ර වීම, අග තැන්පත් වීම, අනුගත වීම වගේ අදහසක් එන්නේ)

ඒ නිසා මේ ආකාරයට වෙනස් වෙන සුලු බව බැලුවම රාගක්ඛය සිද්ධ වෙන්න විදිහක් නැහැ, ද්වෙෂක්ඛය සහ මෝහක්ඛය වෙන්න විදිහකුත් නැහැ.

සූත්‍රයට බහා නොසිටී

11 ගින්නෙන් කොයික ආවත්, එයටත් වෙනස් වෙන සුළු බව දාන්න පුළුවන්. නමුත් මූල හේතුව වුනු අවිද්‍යා තෘෂ්ණා සහගත වැඩ පිළිවෙල හේතුවෙන්නේ අවසාන දුක ගොඩ නැගුනේ කියලා නොදකින්කන්, නැවත උදා වෙනවා! ඒ නිසා හේතු නොදක නිරෝධය දකින්න බැහැ.

උදා.

සෝකයක් දැනුනා. වෙනස් වෙන සුළු බව දකින්න පුරුදු කරලා සෝකය දුරු වෙලායාමට හිත තියනවා. නමුත් ඒ සෝකය දැනුනෙ ජාතිය ප්‍රත්‍යයෙන්. එය උදාවීම නතර නොකරන තුරු නැවත සෝකය උදාවෙන්න පුළුවන්. මෙන්න මේ කොටස දකින්න බැරිවෙනවා ඉහත ක්‍රමය තුල.

ඒ නිසා අනිච්ච යනු “වෙනස් වෙන සුළු බව” කියා ගත් විට එය බුද්ධ දේශනාවක් කියා ගන්න බැහැ.

“පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතුව නිරුද්ධ වීම”

මෑත කාලයෙදී ජනප්‍රිය වුනු තවත් අර්ථ කථනයක් තමයි, අනිච්ච යනු “තිබෙන දේ නැති වීම නෙමෙයි, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වීමයි” කියලා.
මෙය පටිච්චසමුප්පාදයේ විවිද තැන් වලට යොදලා පෙන්වනවා. බොහෝ විට විඤ්ඤාණයට යොදනවා.

උ.දා.

පෙනීම කියන කාරණයේදී ඇසත් රූපයත් ගැටීම හේතුවෙන් චක්ඛු විඤ්ඤාණයක් උදාවෙනවා. පෙර නොතිබුණු දෙයක් හටගත්තා. ඉන්පසු ඉවත බැලීමත් සමඟ එය ඉතුරු නැතුව නිරුද්ධ වුනා.
“Fridge එකේ දොර ඇරියාම ඇතුලේ බල්බ් එක පත්තු වෙනවා. වැසුවාට පසු බල්බ් ඒක සම්පූර්ණවම නිවී යනවා. නමුත් එය පත්තු වෙලා ඇති කියලා හිතනවා නම් එය අවිද්‍යාව. මේ “අනිත්‍ය” නොදකින නිසා.”

අව්‍යාකෘත පටිච්චසමුප්පාදය හරහා පෙනෙන ස්වභාවය උදාවීම
අව්‍යාකෘත පටිච්චසමුප්පාදය හරහා පෙනෙන ස්වභාවය උදාවීම

මේ විග්‍රහය තුලින් ගැඹුරු දහමක් දකින්න පුළුවන් වගේ පෙනුනත් බුද්ධ දේශනාවේ “අනිච්ච ලක්ෂණයට” ගැලපෙන්නේ නැහැ. මේ විග්‍රහය තුලින් ඇත්තටම වෙනත් ධර්ම කාරණා දෙකක් අවබෝධ කර ගැනීමට පිටිවහලක් වෙනවා…

  1. විඤ්ඤාණයේ මායාකාරී ස්වභාවය (“විඤ්ඤාණ අත්දැකීම” ලෙස හඳුන්වන දේ) අවබෝධ කරගැනීමට.
  2. “ලෝක” විග්‍රහය අනිච්ච දැකීමට පෙර දැකිය යුතු “ලෝකය යනු කුමක්ද” කියන කාරණය. ලෝකය පංචස්කන්ධ වශයෙන් විග්‍රහ වන විට රූප-වේදනා-සඤ්ඤා-සංකාර-විඤ්ඤාණ වලින් පරිබාහිර දෙයක් නොමැති බව අවබෝධ කරගැනීමට.

මේ කාරණා දෙකම වැදගත් නමුත් ඒ දෙකම දුක් නිරෝධය පිණිස හේතුවෙන ගාම්භීරවූ “අනිච්ච ලක්ෂණය” නම් නොවේ. එසේ නොවන්නේ පහත හේතු තුන නිසා.

පටිච්චසමුප්පාදයට බහා නොසිටී

  1. “පෙනෙන ක්‍රියාවලිය” විග්‍රහ කරන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය තුල. අව්‍යාකෘත පටිච්චසමුප්පාදය පටන් ගන්නේ අවිද්‍යාවෙන් නෙමෙයි. ඒ නිසා මේ විග්‍රහය බහා හිටින පටිච්චසමුප්පාදය තුල දුක උදාකරන “මුල” (හේතුව) නැහැ. යමක් නිරුද්ධ වෙනවා කියන්නේ නිර්+උදා වෙනවා කියන එක, නැවත උදා නොවෙනවා කියන එක. එකට හේතු නිරෝධ කරන්න ඕනි. ඉතින් මේ ඇති-වෙන-නැති-වෙන එක කොච්චර බලා සිටියත් නැවත ඇති වෙන එක නවත්තගන්න බැහැ හේතු දැකලා ඒවා නිරෝධ කලේ නැත්නම්.
  2. අව්‍යාකෘත පටිච්චසමුප්පාදය ශ්‍රාවක ගෝචර නැහැ. ඇසත් රූපයත් ස්පර්ශ වීමෙන් චක්කු විඤ්ඤාණය පහල වීම සහ එය විපරිනාමය වීම තත්පරයෙන් කෝටියෙන් පංගුවක් වගේ ඉතා සුළු කාලයක් තුල සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා ඒ ක්‍රියාවලිය බලමින් යමෙක් (සර්වඥයන්වහන්සේ හැර) අනිච්ච වඩන්න හදනවානම් එය නිෂ්ඵල ක්‍රියාවක්.
  3. සමස්ත පටිච්චසමුප්පාදයේ 11 ගිනි පෙන්වන “අග” මෙම ක්‍රමය තුල නොදකින නිසා ආදීනව බලන්න විදිහක් නැහැ. ඒ සඳහා බැලිය යුත්තේ ඉදපච්චතා පටිච්චසමුප්පාදයයි
  4. “නාම ගොත්තන් න ජීරති” (නජීරති සූත්‍රය – දේවතා සංයුක්තය – සංයුක්ත නිකාය 1) – ඒ නිසා “ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා” කියන කාරණයත් යතාර්ථයක් නොවේ. Fridge එක අරින්නේ කොහොමද?, ඇතුලේ light එකක් තිබ්බද නැද්ද?, light එකේ හැඩය පාට කියන දේවල් මතක සටහන් ලෙස නොදිරා පවතිනවා. ඒවා ඉතුරුයි. මතක සටහන් සමග සියල්ල ඒ මොහොතේම නිරුද්ධ උනානම් සත්ව පැවැත්ම කෙඹඳු වෙයිද? තිබහට බොන්න ඕනි වතුර කියලාවත් දැනගන්නේ කොහොමද?
නාම ගෝත්‍ර නොදිරීම පිලිබඳ ධර්මානු කූල විග්‍රහයක්: << නාමගොත්තං න ජීරති >>
හටගත් සියල්ල විනාස වෙන අදහස වැරදි වන්නේ ඇයි: << සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම >>
අනිත්‍ය - ඇතිවීම නැතිවීම
අනිත්‍ය – ඇතිවීම නැතිවීම

විනයට සැසදෙන්නේ නැහැ.

හේතුව වත්, මිදීමට දැකිය යුතු දුක් කඳත් නොදකින නිසා රාගක්ඛය, ද්වෙෂක්ඛය හෝ මෝහක්ඛය වෙන්න බැහැ.

විඤ්ඤාණයේ මායාකාරී ස්වභාවය දකින එක හොඳයි, නමුත් මයාවකින් හරි ආස්වාද ලැබෙනවනන් මොකෝ කියන තැනට වැටෙනවා මයි. ගැඹුරු තර්ක විතර්ක පොතට සීමා වෙලා ප්‍රයෝගිකව දුකෙන් මිදෙන්න අසීරු වෙනවා (දුකක් බව දකින්න වත් බැහැනේ)

සූත්‍රයට බහා නොසිටී

අවිද්‍යා තෘෂ්ණා සහගත ක්‍රියාවලියක් තුලින් දුක උදාවෙන හැටි නොදකින නිසා, චතුරාර්‍ය සත්‍යයෙන් එකක්වත් දකින්න තියන අවස්තාව ඇහිරෙනවා.

නිවැරදිව ඇස අනිච්චයි කියන කාරණය වඩනවා නම්, පෙනෙන ක්‍රියාවලියට වඩා දකින්න බලන්න ඕනි බලන ක්‍රියාවලිය. අන්න එතකොට තමයි බුදු රජාණන්වහන්සේ ආදිත්තපරියාය සූත්‍රයේ විග්‍රහ කරන අදහසට අනුව, මේවැනි කර්මස්ථානයක් වඩන්න පුළුවන් වෙන්නේ.

ඇස ඇවිල ගත්තේය…
රූපයෝ අවිලගත්තේය…
චක්කු විඤ්ඤාණයෝ ඇවිලගත්තේය…

“චක්කු විඤ්ඤාණය, පෙර නොතිබී හටගෙන, ඉතුරු නැතුව නිරුද්ධ වීමක් බලා ඉහත ආකාරයට දකින්න පුලුවන්ද කියන කාරණය හොඳින් සිතා බැලිය යුතුයි.

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

ඉහත ත්‍රිපිටක සාක්ෂි සහ ප්‍රයෝගික උදාහරණ උපමා සමග විග්‍රහ කරන්නට යෙදුනේ බුද්ධ ශාසනයේ වැදගත්ම පදය වන අනිච්ච යන්නෙහි අර්ථයනුත්, එයට පරිවර්තනයේදී ලබාදී ඇති අනිත්‍ය පදය වටා ගෙතී ඇති අර්ථයනුත් පිළිබඳවයි. මෙහි සඳහන් උදාහරණ තම තමන්ගේ ජීවිත වලට ගලපා නිවැරදි වූ පරම ගාම්භීර අර්ථයන් මැනවින් අවබෝධ කර ගැනීමට හැකිවේවා.

මේ ඝෝර කටුක සසරින් වහ වහා මිදීමට සියලන්ටම ප්‍රඥාව පහල වේවා!

තෙරුවන් සරණයි!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!